
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව මෙම වසරේ දෙවැනි කාර්තුවේදී සියයට 4.2 ක ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන ඇති බවත් ඒ අනුව කාර්තු 11 ක් අඛන්ඩව ශ්‍රී ලංකාව ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
එසේම මෙරට ළඟා කරගෙන ඇති ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබන වසරේදී ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට එළැඹීමට හොඳ හැකියාවක් තිබෙන බවද ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශ වීම ණය තිරසරභාවය ශක්තිමත් කිරීමටත්, ප්‍රමාණවත් විදේශ විනිමය සංචිත පවත්වාගෙන යාමටත්, ඉදිරියේදී සංචිත තවදුරටත් ගොඩනැගීමටත් වැදගත් වන බවද ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට යළි පිවිසීම ලබන වසරේදී හෝ ඒ ආසන්න කාලයකදී සිදුකිරීමට හැකි දිශාවට ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි පෙර ඇස්තමේන්තුව තවදුරටත් පවතින බවත් පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නැංවීමට ෆිච් රේටින්ස් ආයතනය පෙරේදා ගත් පියවර නිවැරදි දිශාවට තැබූ පියවරක් බවත්, ජාත්‍යන්තර ආයෝජකයන් දැනටමත් ශ්‍රී ලංකාව දෙස ධනාත්මක ආකාරයෙන් අවධානය යොමු කරමින් සිටින බවත් ඔහු පැවසීය.
මේ අතර මෙරට දළ නිල විදේශ සංචිත අගෝස්තු මස අවසන් වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, බැංකු පද්ධතිය ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සමන්විතව ලාභ ලබමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම වසරේ පළමු භාගයේදී රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇති බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමට ඉතාමත් අසන්න බවත් පැපජෝර්ජියෝ මහතා සඳහන් කළේය.
එසේම මෙරට රාජ්‍ය මූල්‍ය අවකාශය තවත් ශක්තිමත් වී ඇති බවත් පසුගිය වසරේදී මෙරට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය 2022 වසරේ පැවැති ප්‍රතිශතය මෙන් දෙගුණයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
ශක්තිමත් රාජ්‍ය මූල්‍ය අවකාශයක් තිබීම හේතුවෙන් බදු සහන ලබාදීමට රජයට ඉඩක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. පසුගිය වසරේ ප්‍රථමික අතිරික්තය සියයට 5 කට වැඩි මට්ටමක පැවැති බවත් මෙම වසරේදී එය ඉලක්කගත මට්ටමට වඩා ශක්තිමත් ලෙස පවතිනු ඇති බවත් ඔහු පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය සම්බන්ධයෙන් මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක් සකස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජය සමඟ කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය. විදේශ සංචිත පසුගිය ජූලි සහ අගෝස්තු මාසවලදීද අඛණ්ඩව ගොඩනැගී ඇති බවත්, සංචිත ගොඩනැගීම සම්බන්ධයෙන් මහ බැංකුව ගමන් කරමින් සිටින දිශාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත්වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd